Self Sufficiency in butter article

කිරිපිටි කරමාන්තය වනසන ” බටර් ” ප්‍රශ්නය..

රී ලංකාව කිරි වලින් හෙවත් වඩාත් නිවැරදිව කියනවා නම් කිරි නිෂ්පාදනවලින් ස්වයං‍පෝෂිත කිරීමට නම් කිරි පිටි කර්මාන්තය පළමුව දියුණු කළ යුතු බව අප වසර ගණනාවක් තිස්සේ පෙන්වා දුන්නෙමු. අප එසේ කියන්නේ කරුණු 03ක් පදනම් කරගෙනය. පළමුවැන්න අප රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ

පිටරටින් ආනයනය කරන කිරිපිටි පරිභෝජනයට පුරුදු වී සිටින නිසා වසරකට ආනයනය කරන මෙ. ටො. 50,000කට අධික පිටරට කිරිපිටි වලට දේශීය විකල්පයක් අවශ්‍ය වීමය. දෙවැන්න කිරි ගොවියාට සාධාරණ මිලක් ගෙවීම සහ ක්‍රමානුකූලව වැඩිවන කිරි නිෂ්පාදනය අඛණ්ඩව මිලදී ගැනීම සඳහා ඉහල ධාරිතාවක් අවශ්‍ය වීමය.

අප රටේ පරිභෝජනය කරන දියර කිරි ප්‍රමාණය (කිරි පිටි වලට විකල්පයක් ලෙස) නොසැලකිය හැකි තරම් කුඩා ප්‍රමාණයකි. ඒ නිසා දියර කිරි පරිභෝජනය දිරිමත් කිරීම මගින් අඛණ්ඩව වැඩිවන කිරි ප්‍රමාණය මිලදී ගත නොහැක. උදාහරණයක් ලෙස පැල්වත්ත කිරිපිටි සමාගම තම කර්මාන්ත ශාලාව ආරම්භ කළේ කිරි ලීටර් 30,000 කිනි. නමුත් දැන් ඉතා කෙටි කාලයකින් එය 130,000 දක්වා වැඩිකොට ඇත. එසේ වැඩි වන්නේ හොඳ මිලක් ගෙවීම සහ අඛණ්ඩව මිලදී ගැනීම නිසා ක්‍රමයෙන් කිරි නිෂ්පාදනය වැඩිවීම නිසාය. අප රටේ පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ කිරි දෙනුන්ට රාත්‍රියට ජලය සහ තණකොළ ඇති තරම් ලබා දෙන්නේ නම් දොවා ගන්නා කිරි ප්‍රමාණය දෙගුණයක් වෙන බවයි. එසේම හොඳ මිලක් ලැබෙන විට කිරි නොගන්නා දෙනුන්ගෙන් කිරි දෙවීමට මෙන්ම සතුන් හොඳින් බලාගැනීමටද ගොවියා පෙළඹේ. පැල්වත්ත සමාගම ආරම්භ කළ පසු ලැබෙන කිරි ප්‍රමාණය හතර ගුණයකින් වැඩිවීමේ රහස ඇත්තේ එතැනය.

තුන්වන කාරණය වන්නේ වැඩිවන කිරි ප්‍රමාණය දියර කිරි ලෙස පරිභෝජනය කරමින් කිරිපිටි ආනයනය අඩු කිරීමට උත්සාහ කිරීමේ උපාය මාර්ගය තුළින් මහජනයාට සහ රටට දරන්නට වෙන පිරිවැය වැඩි වීමය. එයට හේතුව නැවුම් එළකිරි අප රටේ නිවසේ දොරකඩට කලට වෙලාවට බෙදා හැරීම සඳහා වැඩි පිරිවැයක් පාරිභෝගිකයාට දරන්නට සිදුවීමය. ඊට විකල්ප ලෙස ඉදිරිපත් කරන කර්මාන්ත ශාලාවක සකස්කොට ශීතකරණයක බහා පරිභෝජනය කරන දියර කිරි සඳහාද පාරිභෝගිකයාට මෙන්ම රටටද බලශක්තිය පැත්තෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඒ නිසා දියර කිරි, නැවුම් එළකිරි ලෙස හෝ සකස් කළ දියර කිරි යන කුමන ආකාරයකට පරිභෝජනය කළත් එය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. අප විසින් ඇස්තමේන්තු කොට ඇති ආකාරයට දියර කිරි පරිභෝජනය උපරීම මට්ටමට ගෙන ආවත් කිරිපිටි ආනයනයෙන් 10 වඩා අඩු කළ නොහැක. එහෙත් දියර කිරි පරිභෝජනය උපරිමයෙන් දිරිමත් කළ යුතු බවට විවාදයක් නැත. එසේ කළ යුත්තේ රට පුරා අවම වශයෙන් කිරි පිටි කර්මාන්ත ශාලා 05ක් වත් ස්ථාපිත කරන අතරතුරය.

අප විසින් කුමන තර්ක ඉදිරිපත් කළත් අවසානයේදී දේශීය කිරිපිටි කර්මාන්තය රැක ගැනීම සඳහා යම් හෝ පියවරක් රජය විසින් ගනු ලැබුවේ ගොවීන් විසින් මහ පාරේ කිරි හැලීමට තරම් අපේක්ෂා භංගත්වයට පත්වූ පසුවය. රටේ මුදල් අමාත්‍යවරයා විසින් අයවැයේදී ගන්නා ලද තීන්දුව භාණ්ඩාගාර නිලධාරීන් විසින් (ගොවියා මහපාරේ කිරි හැලීමේ සිද්ධිය වෙනතෙක්) මාස 06 ක් තිස්සේ කල් දමමින් සිටියේය. ඒ අනුව රජය විසින් පනවන්නට නියමිතව තිබූ ආනයනික කිරිපිටි සඳහා වන සෙස් බද්ද මාස 06කින් පමා කිරීම නිසා රජයට රුපියල් මිලියන 3000 ක පමණ පාඩුවක් සිදුවිය. ඒ පිළිබඳව එම නිලධාරීන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනුණේ නැත.

එපමණක් නොව දැනුවත්ව එම බද්ද පමා කළ කාලය තුළ සමාගම් විසින් ඊට පෙර වසර වලදී ආනයනය කරන ලද කිරි පිටි ප්‍රමාණය වූ මෙ. ටො. 50,000, මෙ.ටො. 80,000 දක්වා තවත් 30,000 කින් වැඩි කළේය. ඒ අනුව ඔවුන් ඉදිරි මාස 06කදී ආනයන කිරීමට නියමිතව තිබූ තොග බදු පැනවීමට කලින් ආනයනය කිරීම මගින් තවත් බදු ප්‍රමාණයක් රටට අහිමි කළේය. ඒ අනුව රටට අහිමි වූ මුළු බදු ප්‍රමාණය රු. මි. 5000 ක් පමණ වේ යැයි ඇස්තමේන්තු කළ හැක. එම මුදලින් රජයට නව කිරිපිටි කර්මාන්ත ශාලා 03ක් ආරම්භ කිරීමේ හැකියාව තිබිණි.

මේවා තේරුම්ගත හැක්කේ උඩ ඉන්න දෙවියන්ට පමණක් දැයි සිතෙන තරමට මේ මංකොල්ලය සිදුවන්නේ එළිපිටමය. එපමණක් නොවේ කෙසේ හෝ පමා වී බද්ද පනවන අවස්ථාවේදී බද්දට අමතරව සමාගමටද මිල වැඩි කිරීමක් සිදු කිරීමට අවසර දුන්නේය. මේවා රටෙ මහජනයා දන්නේ නැත. මහජනයා තබා විපක්ෂ දේශපාලකයින්වත් දන්නා බවක් පෙනෙන්නේ නැත. ඒසේ දන්නවා නම් අඩු තරමින් භාණ්ඩාගාර නිලධාරීන් සහ බහු ජාතික සමාගම අතර පවතින මේ ආදර සම්බන්ධය කුමක්දැයි පාර්ලිමේන්තුවේදී හෝ ප්‍රශ්න කළ යුතුය.

පිටරට කිරිපිටි අඩුමිලට ප්‍රතාපනය කරන තාක් කල් දේශීය කිරි කර්මාන්තය සහ කිරි ගොවියා නගා සිටුවීමට නොහැකි බව සියලු දෙනා පිළිගත යුතු සත්‍යයකි. නමුත් රජය පවා එම සත්‍ය පිළිගන්නේ අර්ධ වශයෙනි. එනම් කිරිපිටි නිපදවීමේදී ලැබෙන අතුරුඵලය වන බටර් පිළිබඳව රජයේ වගකිව යුත්තන් තීන්දුවක් ගෙන නැත. සාමාන්‍ය බුද්ධිය අනුව කිරිපිටි ආනයනය අධෛර්්‍යය කොට දේශීය කිරිපිටි නිෂ්පාදනය දියුණු කිරීම සඳහා බදු පනවනවා නම් එය කිරිපිටි සහ බටර් යන නිෂ්පාදන දෙකටම එකවර යම් අනුපාතයකට අනුව පැනවිය යුතුය. නමුත් දැන් බටර් වලට සෙස් බද්දක් පනවා නොමැති නිසා දේශීය බටර් විකුණාගත නොහැකිව ශීත ගබඩා වල ගොඩ ගැසී ඇත. ඒ නිසා දේශීය සමාගම් වලට බටර් විකුණාගත නොහැකි වීමේ පාඩුවට අමතරව දීර්ඝ කාලීනව ගබඩා කිරීම සඳහාද පිරිවැයක් දැරීමට සිදු වී ඇත.

ආනයනික බටර් සහ කිරිපිටි යන දෙකටම කිරිවල අඩංගු නොවන මේද වර්ග (උදා – ෆාම්තෙල්) යම් ප්‍රමාණයක් එකතු කරන බැවින් ඔවුන්ගේ නිෂ්පාදන ආනයනය කරන්නේ සාමාන්‍ය මිලට වඩා ඉතා අඩු මිලකටය. එක් විදේශීය කිරිපිටි සමාගමක ප්‍රධානියා ප්‍රසිද්ධියේ පවසා සිටියේ එසේ කිරි මේදය නොවන තෙල් වර්ග මිශ්‍ර කළේ නැතිනම් තුන්වන ලෝකයේ රටවලට අඩු මිලට තම නිෂ්පාදන ලබාදිය නොහැකි බවයි. (ඔහු එය කියන්නේ එම රටවලට උදව්වක් කරන ස්වරූපයෙනි.) ඒ ආකාරයට අඩු මිලට ආනයනය කළ විට දේශීය වෙළෙඳුන්ට වැඩි කොමිස් මුදලක් ගෙවීමට හැකිවන අතර ප්‍රචාරණය සඳහා වැඩි මුදලක් වැය කිරීමට ඉඩ ලැබේ. ඒ මගින් වෙළෙඳ‍පොළ තරගයේදී දේශීය නිෂ්පාදන පරාජය කිරීමට බහු ජාතික සමාගම් කටයුතු කරන බව රහසක් නොවේ.

ආනයනික බටර්වල බාහිර තෙල් වර්ග අඩංගු වනවාට අමතරව කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍යයද අඩංගු වේ. නමුත් දේශීය බටර් වල ඇත්තේ 100 ක්ම ස්වාභාවික කිරි මේදය පමණි. බොහෝ විට ඒවා නිපදවා දින දෙක තුනක් ඇතුළත නැවුම් රසය සහිතව වෙළෙඳ‍පොළට ඉදිරිපත් වේ. ආනයනික බටර් සහ දේශීය නැවුම් බටර් අතර වෙනස යම් ස්වාධීන ආයතනයකින් පරීක්ෂාකර බලනවා නම් ඒවා අතර වෙනස විශේෂයෙන්ම බාහිර තෙල් වර්ග අඩංගු බව සොයාගත හැකි වනු ඇත. එසේම නවසීලන්තයේ විකුණන බටර් සහ අප රටට ආනයනය කරන බටර් අතර මේද සංයුතියේ පැහැදිලි වෙනසක් තිබෙන බවට අපි අභියෝග කිරීමට කැමැත්තෙමු. මේ ආකාරයට ආනයනික බටර් විසින් වෙළෙඳපල ආක්‍රමණය කිරීම නිසා දේශීය බටර් විකුණාගත නොහැකිව ගබඩාවල ගොඩ ගැසෙමින් ඇත. ඒවා කොතරම් උසස් වුවත් බහුජාතික සමාගම් වෙළෙඳුන්ට ලබාදෙන අධික කොමිස් සහ අධි ප්‍රචාරණය නිසා වෙළෙඳ‍පොළ තරගයේදී දේශීය බටර් පිටුපසින් සිටියි. මේ වන විට පැල්වත්ත සමාගමට කිරි මිලදී ගැනීම ඉහළ දැමීමත් සමග දිනකට බටර් කි. ග්‍රෑ. 2000 ක් පමණ ගබඩාවලට යැවීමට සිදුව ඇත. මේ තත්ත්වය තුළ එම සමාගමට තවදුරටත් කිරි මිලදී ගැනීම ඉහළ දැමීමේ බාධකයක් ඇත. එසේම බටර් වලින් පාඩු ලබන විට කිරි පිටි අඩු මිලට ලබාදීමද අපහසුවේ.

මෙහිදී දේශීය නිෂ්පාදකයාටද කොන්දේසි දෙකක් පැනවිය යුතුය.

පළමුවැන්න දැනට එනම් ආනයනික බටර් වලට බදු පැනවීමට පෙර ඔවුන් වෙළෙඳ‍පොළට නියම කළ මිල බදු පැනවීමෙන් පසුව වෙනස් නොකළ යුතුය යන්නය.

දෙවැන්න නිෂ්පාදන පිරිවැය ගණනය කොට ඊට සාපේක්ෂව දේශීය බටර් මිල නියම කිරීම සඳහා මිල සූත්‍රයකට එකඟවීමය. දැනටමත් රජය කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බැවින් එම ලැයිස්තුවට බටර් ද එකතු කළ හැක.

මැ‍ලේසියාවේ මහතීර් මොහොමඩ් මහතා රටේ ආර්ථීකය වෙනස්කළ මූලික ප්‍රතිප්තිමය තීන්දු සියල්ල තනි ඒ4 පිටුවකින් ඉදිරිපත් කළ හැක. එයට හේතුව ඔහුගේ ප්‍රතිපත්ති සම්පාදකයින් බදු උපාංග භාවිතා කොට ආයෝජකයින්ගේ හැසිරීම ඉතා විශිෂ්ට ලෙස වෙනස් කිරීමට සමත් වීමය. අපට මේවා මෙසේ පිටුගණන් ලිවීමට සිදුවන්නේ අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන බාබාලා ඇහැරවීම පහසු නැති බැවිනි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මව්බිම ලංකා පදනම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


9 − = five